ශ්‍රී ලංකාවේ ගීත කලාවේ ඉතා කැපී පෙනන චරිතයක් වන සුනිල් එදිරිසිංහයන් සිංහල සංගීතයට ආදරය කරන සියලු දෙනාගේ සිත් සතන්හි රැදෙන චරිතයකි. ප්‍රබල පෞරුෂත්වයකින් හෙබි සුනිල් එදිරිසිංහයන් සෑම සිංදුවක් ගායනයේදීම තමන්ටම ආවේනික ආකාරයට ගායනා කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. 1949 දෙසැම්බර් 19 වන දින කොලබදී උපත ලැබූ සුනිල් එදිරිසිංහයන් උපත ලැබිය. ඔහුගේ පියා පැට්කිරිගේ එදිරිසිංහ මහතාය. සුනිල් එදිරිසිංහ මහතාට සහෝදරයන් තෙදෙනුකු හා සහෝදරියන් සිව්දෙනෙකු සිටින අතර පවුලේ බාලය වූ සුනිල් එදිරිසිංහයන්ය.

1955 වසරේදී මුලික අධ්‍යාපනය සදහා කැලණිය ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වූ මෙතුමා කුඩා කල සිටම ගායනයට තමන් සතු හැකියාව පෙන්නුම් කළේය. අන්තර් පාඨශාලීය ගීත ගායනා තරග වලින් ජයග්‍රහණය ලැබූ සුනිල් එදිරිසිංහයන් පසුව සපුගස්කන්ද මහ විදුහලට සහ පසුව දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප පිරිවෙනටද ඇතුලත් විය. තම පාසල් විය අවසානයේදී, 1969 වසරේදී මෙතුමා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට බැඳුනේය. තම සංගීත ජිවිතයේ පෙරලියක් සිදු කරමින් වර්ෂ 1970 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අධ්‍යක්ෂණය කළ ( සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූයේ වික්ටර් රත්නායක මහතාය ) ‘මාතර ආච්චි‘ චිත්‍රපටයට සංගීතයෙන් දායක විය. පසුව තම සංගීත දැනුම වැඩි දියුණු කර ගැනීමේ අදහසින් ගායන හා වාද්‍ය විශාරද පී.වී. නන්දසිරි ආචාර්යවරතුමන්ගේ සංගීත ශාස්ත්‍රාලයට බැදුනේය. ඉන් අනතුරුව පසුව ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රථම විභාගයට මුහුණ දුන් සුනිල් එදිරිසිංහයන් එහිදී පළමු පෙළ සාමාර්ථයක් ලබා ගත්තේය. මේ අතරතුර චිත්‍රපට පසුබිම් ගායනයද කරගෙන ගිය මෙතුමා ‘හුලවාලි‘ සහ ‘ශ්‍රී මදාරා‘ යන චිත්‍රපට සදහා තම හඩ දායකත්වය ලබා දුන්නේය. එලෙසම විශාරද විභාගයෙන් සමත් වූ සුනිල් එදිරිසිංහයන් ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පිඨයේ ඩිප්ලෝමාවෙන්ද සමත් විය. 1975 වසරේදී සරල ගායකයෙකු ලෙස ගුවන් විදුලි සංගීත පරීක්ෂණයෙන් සමත් වූ මෙතුමා 1977 දී ගීත තැටියක් සදහා ගීත ගායනා කළේය. ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ රෝහණ වීරසිංහයන් මෙම ගීත තැටියට සංගීත අධ්‍යක්ෂණය කළේය. පසුව ඔවුන් දෙදෙනා එක්ව ගීත ගණනාවක් ගායනා කළේය.

ජිවිතයේ තවත් එක කඩයිමක් පසුකරමින් 1979 වසරේදී මිරෙන්ජි ආරච්චිලාගේ දෝන නන්දනී මුණසිංහ මෙනවිය සමග සුනිල් එදිරිසිංහයන් විවාහ විය. ‘චන්ද්‍ර මඬල‘ නම් වූ කැසට් පටය මෙතුමාගේ ප්‍රථම කැසට් පටය විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස පිදුම් ලැබූ මෙතුමා විසින් 1983 වසරේදී ජනාධිපති සම්මානයද (‘අධිෂ්ඨාන‘ චිත්‍රපටයේ පසුබිම් ගායනය වෙනුවෙන්) , 1986 දී කොළඹ විශ්ව විද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍රය මගින් පිරිනමන ‘වින්දන ප්‍රසාද ප්‍රණාම‘ සම්මානයද දිනා ගන්නා ලදී. එයින් නොනැවතුණු සුනිල් එදිරිසිංහයන් 1987 වසරේදී ‘ස්වර්ණ සංඛ‘ සම්මානය (‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා) ද , ‘සඳකඩ පහන‘ චිත්‍රපටයේ පසුබිම් ගායනයට සඳහා 1988 වසරේදී සරසවි සම්මානයද දිනා ගන්න ලදී. 1990දී නැවතත් ‘ස්වර්න සංඛ‘ සම්මානයෙන්ද සුනිල් එදිරිසිංහයන් පිදුම් ලැබිය.

සිංහල සංගීතයට ඉමහත් මෙහෙවරක් කරන සුනිල් එදිරිසිංහයන්ගේ ඉතා ජනප්‍රිය ගීත කිහිපයක් ලෙස නිම තෙරෙක් නුදුටු, සදකඩ පහණක , දුවේ නුබ මග ප්‍රාණයයි, මගේ අමල් බිසෝ, අවපස අහසක, මිනිසෙකු පිට නැගී අසරුවෙකි, මලක් වෙලා ඔබ පිපෙන්න ආදිය හැදින්විය හැක.